ඇම්බ්‍රෝස් පන්දු යවන්න දුවගෙන එනවා දකින එකත් පිතිකරුවන්ට ලොකු වදයක්. අඩි හයයි අඟල් හතක් උස මේ මනුස්සයා එකම තැනකට දිගින් දිගටම පන්දුව පතිත කරද්දී, අමුතු කොණ්ඩා මෝස්තරයක් එක්ක, කිසිම කතාවක් බහක් නැතුව ඔහු පිතිකරුවා දිහා බලන බැල්මට අති දක්ෂ පිතිකරුවන්ටත් දාඩිය දැම්මා. ඇම්බ්‍රෝස් කියන්නේ පිටියේදී පිතිකරුවන්ට වචනයකින්වත් බණින, 'ස්ලෙජ්' කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ඔහුට කේන්ති ගියොත්...
ඒකේ රඟේ හොඳටම දන්නේ ඔස්ට්‍රේලියාවේ ඩීන් ජෝන්ස්. 1993 අවුරුද්දේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඕන වුණා මේ යෝධයාව ටිකක් අවුස්සන්න. ඩීන් ජෝන්ස් විනිසුරුවරයාට පැමිණිලි කළා ඇම්බ්‍රෝස් අත්වල දාගෙන ඉන්න 'රිස්ට් බෑන්ඩ්' දෙක ගලවන්න කියන්න කියලා. මුලින්ම ඇම්බ්‍රෝස් ඒකට අකමැති වුණත්, නායක රිචී රිචර්ඩ්සන් එක්ක කතා කළාට පස්සේ ඔහු ඒවා ගලවලා දැම්මා. හැබැයි ඊටපස්සේ පිටියේ වුණේ කිසිවෙකුවත් බලාපොරොත්තු නොවුණ විනාශයක්. මේ යෝධයා යක්ෂයෙක් බවට පත් වුණා. කෝපයෙන් පුපුරමින් හිටපු ඇම්බ්‍රෝස් ලකුණු 32කට ඔස්ට්‍රේලියානු කඩුලු 5ක් බිම දැම්මා විතරක් නෙවෙයි, බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 25ක ජයග්‍රහණයක් අරන් දුන්නා.
පස්සේ කාලෙක ඩීන් ජෝන්ස් කියනවා, "රිස්ට් බෑන්ඩ් එක ගැලෙව්වට පස්සේ මම මුහුණ දුන්නු ඊළඟ පන්දු තුන තමයි මගේ ජීවිතේට මම මුහුණ දීපු වේගවත්ම පන්දු තුන" කියලා. ඔස්ට්‍රේලියානුවන්ට ඇම්බ්‍රෝස් ගෙන් වුණු එකම හිරිහැරය ඒක නෙවෙයි. 1993 ඔස්ට්‍රේලියාවේ පර්ත් වලදී වෙච්ච දේ ක්‍රිකට් ඉතිහාසයේ කවදාවත් මැකෙන්නේ නැහැ. තරගයේ පළමු ඉනිම. පන්දු 32යි. ලකුණු 1යි. කඩුලු 7යි! ඔස්ට්‍රේලියානුවන්ගේ මුළු ඉනිමම ලකුණු 119කට සීමා වුණා. ඒ තරගයේදී ලකුණු 20 සීමාව පහු කරන්න පුළුවන් වුණේ ඩේවිඩ් බූන්ට විතරයි. ඒ අමානුෂික පන්දු යැවීම තමයි 1995 වෙනකල් ඔස්ට්‍රේලියාවට ලෝක ක්‍රිකට් ආධිපත්‍යය අල්ලගන්න නොදී කොදෙව්වෝ තියාගෙන හිටපු ප්‍රධානම හේතුව.
මේ ඔක්කොම වික්‍රමයන් මැද අපිට අමතක කරන්න බැරි එකම එක කාන්තාවක් ඉන්නවා. ඒ තමයි කුඩා කාලේ බාස්කට්බෝල් ගහන්න හීන දැකපු මේ කොලු ගැටයාට, බලෙන් හරි ක්‍රිකට් බෝලයක් අතට දුන්නු ඇම්බ්‍රෝස් ගේ අම්මා. ටෙස්ට් කඩුලු 405ක්, එක්දින කඩුලු 225ක්. මේවා නිකන්ම නිකන් ඉලක්කම් විතරයි. ඇය එදා ඒ බලකිරීම කළේ නැත්නම්, ක්‍රිකට් ඉතිහාසය දැකපු භයානකම, ඒ වගේම අද්භූතම වේග පන්දු යවන්නා අපිට අහිමි වෙන්න ඉඩ තිබුණා. 2014 දී 'නයිට්' නාමයෙන් පිදුම් ලබපු මේ යෝධයාගේ නම ඇහෙද්දි අදටත් එදා හිටපු පිතිකරුවන්ගේ හිතට බයක් දැනෙනවා නම්, ඒක තමයි පන්දු යවන්නෙක් විදිහට ඔහු ලබපු ලොකුම ජයග්‍රහණය